කොට්ටව සංරක්ෂණ වනාන්තරය

කොට්ටව වනාන්තරය දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුල නගරයට ආසන්නව පිහිටා ඇත. මෙය ගාල්ල උඩුගම මාර්ගයේ කි.මී. 13ක් ගමන් කලවිට හමුවන දැකුම්කලු තෙත් කලාපීය සදාහරිත වැසි වනාන්තරයකි. යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වසම තුල පිහිටි මෙම වනාන්තරය හෙක්ටෙයාර 435ක ප්‍රමාණයකින් යුක්ත වේ.

ලංකාව තුල සංරක්ෂණ වනාන්තර ලෙස දැනට හඳුනාගෙන ඇති වනාන්තර වලින් එකක් වන මෙම වනාන්තරය අධ්‍යාපනික, පර්යේෂණ හා ජෛව ව්ද්‍යාත්මක වැදගත් කම අතින් ඉතා ඉහල ස්ථානයක් ගනී. "ජාතික සංරක්ෂණ විමසුමට" අනුව ඉහල ප්‍රමුඛත්වයක් දී සංරක්ෂණ කළයුතු වනාන්තරයක් ලෙස නම් කර ඇත. අධ්‍යාපණික හා පර්යේෂණ කටයුතු සඳහාම වෙන් කල හෙක්ටෙයාර 10 ක ස්වාභාවික වන උද්‍යානයක් මෙම වනාන්තරය තුල ඇත. මෙම වනාන්තරයට යාබදව තොරතුරු මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යනු ලැබේ. එමගින් දේශීය / විදේශීය සංචාරකයින්ට හා පාසැල් සිසුන්ට වනාන්තරය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මෙන්ම වන විද්‍යාත්මක තොරතුරු ලබා දීමද සිදු කරනු ලබයි. මහජනතාව සඳහා අවශ්‍ය පැල මිලදී ගැනීම සඳහා පැල තවානක්ද එම ස්ථානයේ පවත්වාගෙන යනු ලැබේ. මෙම වනාන්තරය තුල නාග ආරණ්‍යය හා මලුවේගොඩ ආරණ්‍යය සේනාසනද පිහිටා ඇත.

මෙම රක්ෂිතය තුලින් තුන්දොල, දුනුකෙයියා දොල, හල්දොල, උඩුමුල්ල දොල ගලා බසින අතර පොල් අතු මෝදර ගඟේ ජලපෝෂක ප්‍රදේශය ලෙසද ක්‍රියා කරයි. මෙම වනාන්තරය තුල පිහිටි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන ජල පොකුණු ද ප්‍රදේශ වාසීන් හා සංචාරකයින් වෙත මහඟු සේවයක් ලබා දෙයි. වන උද්‍යානය හැර ඉතිරි වනාන්තර කොටස් 1968 දී රාජ්‍ය දැව සංස්ථාව විසින් දැව ඉවත් කිරීම සිදු කර ඇති අතර මහජනතාවගේ බලපෑම් මත අනවසර ක්‍රියාමගින් ද වනාන්තරයට හානි පැමිණ ඇත.

   

මෙම වන උද්‍යානය තුල ඇති ශාක වර්ග අතුරින් පහත සඳහන් ශාක වර්ග 45ක් ආවේණික ශාක ලෙස හඳුනා ගෙන ඇත.

1. බැදි දෙල් (Artocarpus nobilis)
2. වැලිපැන්න (Anisophyllea cinnamomoides)
3. හැඩවක (Chaetocarpus coriaceus)
4. බූහොර (Dipterocarpus hispidus)
5. පිනිබෙරලිය (Doona ovalifolia)
6. හොර (Dipterocarpus zeylanicus)
7. ගොඩපර (Dillenia retusa)
8. රුක් (Horsfieldia iryaghedhi)
9. තව්වැන්න (Palaquium rubiginosum)
10. වල් දිවුල් (Hydnocarpus octandra)
11. කිරිහැඹිලිය (Palaquium petiolare)
12. කන්පෙත්ත (Aporosa cardiosperma)
13. දියතාලිය (Mastixia tetrandra)
14. දොඩම්කහ (Memecylon capitellatum)
15. උගුඩුහල් (Symplocos coronata)
16. වල් ජම්බු (Syzygium cordifolium)
17. වල්ල (Gyrinops walla)
18. අලුබෝ (Syzygium makul)
19. කැකුණ (Canarium zeylanicum)
20. වලුකීන (Calophyllum bracteatum)
21. දත්කැටිය (Xylopia championi)
22. කබර බදුල්ල (Semecarpus subpeltata)
23. කැටබුල්ල (Semecarpus nigro viridis)
24. නාමැන්ඩෝරා (Cotyleobium scabriusculum)
25. උබ්බේරිය (Carallia calycina)
26. පත්කැල (Bridelia moonii)
27. තලන් (Litsea gradenri)
28. දොරණ (Dipterocarpus glandulosus)
29. ගල් ඇට (Macaranga digyna)
30. කලුබදුල්ල (Semecarpus obscura)
31. දියබෙර (Agrostristachys hooderi)
32. වල්කෝපි (Seyphostachys coffaeoides)
33. කැකිරිවරා (Schumacheri castaneifolia)
34. තිනියදුන් (Shorea congestiflora)
35. වනම් (Madhuca fulva)
36. බෙරු (Agorstristachys coriacea)
37. රත්බෙරලිය (Hopea jucunda)
38. මැන්දෝරා (Hopea cordifolia)
39. දුන් (Doona gradneri)
40. බටුකීන (Calophyllum thwaitesii)
41. කිරිපෙද්ද (Palaquium garnde)
42. ඇත්හෙරලිය (Kurrimia ceylanica)
43. පොල්හුන්න (Axinadra zeylanica)
44. දුනුකෙයියා (Pandans thawaitesii)
45. වෙනිවැල් (Coscinium fenestratum)




Rainforest Protectors of Sri Lanka is an Enviornmental Organization Registered with Central Environmental Authority (CEA) Registration# 6/6/17/01/146